Tuesday, November 30, 2010

මාත් ගත්තා ලැපක්....









ඔන්න ඉතින් වෙනද වාගෙම ඊයෙත් නැගිටපු ගමන් එබුව කොම්පූටරේ ස්විච් එක.ඇතුලෙ සද්දෙ වෙනදට වැඩිය වෙනස්.ෆෑන් එහෙම බොහොම සද්දෙට කැරකෙනවා.බලාගෙන හිටිය ස්ක්‍රීන් එක දිහා.මුකුත් නෑ.හැබැයි කලින් දවසෙ එක පාරක් දෙපාරක් ස්ටක් උනා.

දෙපාරක් විතර reset කලා.ම්..හු නෑ.

මෙන්න බොලේ එක පාරටම ඩොස් ප්‍රොම්ප්ට් එකට ඇවිත් "ඔපරේටින් සිස්ටම් නොට් ෆවුන්ඩ්" ලු.යකෝ OS එකට මොකද උනේ.ගැලෙව්ව හාර්ඩ් එක.ඇමිනුව අනිත් එක.ඒත් ඒ සෙතේමයි.ගැලෙව්ව vga card,ram,battery සේරම. හයි කරල ආයෙත් බැලුවා.ආයෙත් සිස්ටම් නොට් ෆවුන්ඩ් ලු.පරණ හාඩ් එක ගහල සෙවන් DVD එකෙන් බූට් කලා.බූට් වෙන්නෙ නෑ.buzzer එකෙන් Alarm දෙක තුනක් ඇවිත් නවතිනව.අත ඇරල දැම්ම එහෙම්මම.

මටනම් පෝන් එක නැතත් කමක් නෑ,ඔය කොම්පීටරේ නැතුව බෑ.දැන් තමා මතක් වෙන්නෙ කලින් ලැප තිබුනනම් කියල.ඒක යැව්වනෙ අපේ පුංචිගෙ පොඩි එකාට.දැන් කාලෙ පොඩි එවුනුත් මාරයි.ඉල්ලන්නෙ ලැප්ටොප්,ps3,xbox.අපිනම් ඒකාලෙ අම්මගෙ අතේ එල්ලිලා පොලේ යන කාලෙ පාර අයිනෙ පේමන්ට් එකේ තියන වයින් කොරණ කාර් එකක්,එහෙම නැත්තන් ටෙනිස් බෝලයක් තමා ඉල්ලල කරදර කරන්නෙ."ළමයො කරදර කරන්නැතුව ඉන්නව" කිව්වම ඉතින් කරබාගෙන ඉන්නව.දැන් පොඩි එවුන් අම්මල තාත්තලට බැරිනම් නෑදෑ සනුහරේටම කනු,කුනු ගානවනෙ.

කොහොම,කොහොම හරි මට දැන් මැෂින් එකක් නෑ.

වෙලාව බැලුව.10යි.කිට් එක දාගෙන එලියට බැස්සා.අප්පට සිරි හිම වැටෙනවා.ආයෙ ගිහින් දා ගත්ත ජැකට්‍ටුව.වෙලාවට බස් එකත් ආවා.හි,හි ලංකාවෙ වගේ නෙමෙයි.වෙලාවනම් වෙලාව.

MAC එකක් හරි VAIO එකක් හරි තමා ගන්න හිතා ගත්තෙ.ඔන්න ඔය වෙලාවෙ අපේ තාත්ත මට පොඩි කාලෙ කියපු දෙයක් මතක් උනා.ඒ තමයි කොහෙ හරි ගමනක් බස් එකේ යනවනම් CTB එකක යන්න කියලයි,වටිනා බඩුවක් ගන්නවනම් ඒජන්ට් කෙනෙකුගෙන් ගන්න කියන එකයි. ඒක හින්ද ඉතින් ගියා ඕන් ඉස්සෙරවෙලාම mac store එකට.pro එක කිසිම පෙනුමක් නෑ.AIR එකනම් මාර ගති.ගාන ඇහුවා.මගෙ අම්මෝ.......ලංකා මුදලින් 250000ක් වෙනවා.ඒක හරියන්නෙ නෑ.

next උනා sony authorized dealer ලඟට.core "i" මොඩ්ල් එකක් ගන්න තමා හිතුනෙ.i3, i5, i7....න්.. ඔන්න දැන් mind එක oscillate වෙනවා.ගනනුත් 20000න් 20000ට වාගෙ තමා තුනේම වෙනස්.අපි ඉතින් බුදුදහම අදහන ආදර්ශමත් කොල්ලොනෙ.(අප්පා........ඒ ගැනනම් නේද???).බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙන්නෙ මධ්‍යම ප්‍රතිපදාවෙන් කල් ගෙවන්න කියලනෙ.තීරණය කෙරුව......ගන්නව i5 එක.ගානත් එච්චරම අවුලක් නෑ.ටිකක් අවුල උනත් බඩු හොඳයිනෙ.මාස 15ක international warranty එකකුත් තියනවා.ඔය පල්ලෙහයින් දාල තියෙන්නෙ features ටික.ඔන්න ඉතින් දැන් මමත් vaio හිමිකරුවෙක්.


  • processor
  • intel core i5-560m, 2.66ghz
  • cash memory
  • 3MB
  • main memory
  • 4GB DDR3 SDRAM*2
  • hard disk
  • 320GB
  • graphic
  • NVIDIA GeForce 310M GPU,512MB DDR3
  • display
  • 13.3" led backlight.

    තව ඉතින් DVD multi,SD Card Reader,HDMI Out Put.එකී මෙකී නොකී වයර්ලස් ඔක්කොම තියනව.
    ගාන ලංකා මුදලින් 119000ක් විතර.

    Sunday, November 28, 2010

    සුමුදුට සෙනෙහසින්



    හිත හොඳ වැඩිකමට

    නොදැන කල වරදකට

    දහසක් දෙනා මවෙත,

    අපමණ චෝදනා නගද්දී....

    ඒ සියලු චෝදනා වලින්

    මා මුදවාලීමට

    එදා,

    මහත් වෙහෙසක් දැරූ දයාබර "සුමුදුට"

    සෙනෙහසින් පිලිගන්වමි.

    Thursday, November 25, 2010

    පෙම්වතිය සමග පොලිස් අත් අඩංගුවට...!!!



    එක දිගට මාස හයක් නයිට් කරල යන්තම් තායියො සෙට් එකක්(තායිලන්ත ජාතිකයින්) බැහැපු හින්ද ආයෙත් ඩේ එකට වැ‍ටුනා.අම්මෝ...ලොකු දෙයක්.ලේසි වැඩක්යැ හවස 7.00 ඉදල පහුවදා උදේ 8.30 වෙනකම් එක දිගට පැය 13.5ක් හිටගෙන ඉන්නව කියන එක. බෑ කියල ගෙදර යන්න ඉතින් ඔය වීස බලපත්‍ර එහෙම තියන එකක්යැ.

    මෙහෙ නිෂ්පාදනය කරණ තරම දැක්කම ලඟදිම දවසක ලෝක ජනගහනය ඉක්මවල යනව mazda වාහන විතරක්ම. කොහොම හරි ඩේ එකට මාරු උන එක ගැනනම් තියෙන්නෙ මාර ‍ෆිට් එකක්.ඉතින් දැන් අවුරුදු ගානක ඉඳල වර්තමානය කොම්පැණිය ඇතුලෙ හින්ද තාමත් අතීතෙ එක්කම ජීවත් වෙනවා.මේකත් ඉතින් ඒ වාගෙ අතීතෙ දවසක සිද්ධ උන ටිකක් භයානක සිදුවීමක්.

    පෙම්වතියො දෙන්නෙක් එකට හමු උන සීන් එක කලින් පෝස්ට් එකේදි කිව්ව නෙවැ.බැලුවෙ නැත්තන් මෙතනින් නිකමට ගිහින් බලන්නකෝ...

    මේ සිද්ධිය සිද්ධ උනේ 2002දි.2002 මැයි මාසෙ එක වැහිබර අඳුරු දවසක.තැන තමයි ඕන් මහනුවර "වේල්ස් පාර්ක්" එක.

    අම්මෝ........මේ වාගෙ මාට්‍ටුවිල්ලක්නම් හතුරෙකුටවත් වෙන්න එපා කියල තමයි ප්‍රාර්ථනා කොරන්නෙ.

    අන්තිමට ඉතින් ලව් එක විදියට ඉතුරු උනේ සුමුදුනෙ.පෙරලුන පිට හොදයි කියල දැන් බොක්කෙම සුමුදුට ලව් කරගෙන ඉන්නවා.ඔය A/L කරණ කාලෙ කෑල්ලක් සෙට් උනොත් එහෙම අධ්‍යාපනේට දෙයියන්ගෙම පිහිට තමා.ඇයි ඉතින් class යෑමක් වෙන්නෙ නෑනෙ.එදත් ඕන් දෙන්නම class නොයා උදේම ඉන්ටසිටියක ඇද්දා නුවරට.ඒ දවස්වල කුරුණෑගල නුවර දෙන්නටම යන්න එන්න එකසිය විස්සයි.දැන්නම් එක්කෙනෙකුට ඒ ගානද කොහෙද.දළදා වීදිය දිගේ ගිහින් වැවේ මාලු එහෙම බලල, ඔන්න ගොඩ උනා පාක් එකට.දැන් දෙන්නගෙම පොත් එහෙම පැත්තකින් තියල පෙම් පිළිසදරෙ ඉන්නකොට ආව කවුදෝ බුවෙකුයි,බුවියො දෙන්නෙකුයි.ඉල්ලුව නේද අයිඩින්ටි......


    අයිඩින්ටි දෙන්නත් කලින්ම පොත්ගොඩ දැකල බුවා කිව්වනෙ බුවියකුට "ආ මේ දෙන්නව ගන්න"කියල.අප්පට සිරි බඩුම තමා මේන් එලියට එනකොට තියනව police කියල ගහපු නිල් පාට ටොයෝට ජිප් එක.දැන් ඉතින් කතා කර ගන්න වචන පිට වෙන්නෙත් නැති තරම්.අපිත් එක්කල තව කෆල් පහයි.ජීප්පුවෙ ඉස්සරහ ඉන්නව සුදුපාට පටියක් එහෙම දා ගත්තු සාජන් මහත්තයෙකුත්.කොහොමද ආතල් එක.

    දැන් ඕන් ඔක්කොම කස්ටිය ටික මේකට පටෝගෙන අති සාර්ථක ගමනක යනව නුවර පොලීසිය බලා.ජිප් එක ඇතුලෙ එකම මල ගෙයයි.කෙල්ලො අඬනව නෙමෙයි,විලාප තියනව.ඒ උනාට රාළහාමිලට නෙමෙයි ඒකෙ වගක්වත්.ඔන්න ඉතින් විනාඩි විස්සකින් විතර ගියා පොලෝසියට.එසේ මෙසේ තැනක්යැ.මධ්‍යම පලාතෙ ලොකුම තැනනෙ.

    ගියා විතරයි පොලිස් අන්කල්ල ,ඇන්ටිල ජීප්පුව වටේට.
    "ආ...අදත් ආවද?..
    ඒ කියන්නෙ මීට කලිනුත් සෙට් එකක් ගෙනල්ල තියනව.ඔහොමම යන්නකො OIC මහත්තයගෙ කාමරේට.දැන් කට්ටියම යනව පොතුත් අරගෙන ඕ.අයි.සී මහත්තය හම්බ වෙන්න.බඩුම තමා පොර නෑ.එන්නෙ 12 ටලු.එතකන් ඉන්න කිව්වා.මේ අතරෙ එකෙක් කියපි ,එතකන් ඉන්න බෑ ගෙදරින් හොයනව කියල.මේක අහගෙන හිටපු SI කෙනෙක් "හොයන්න දෙයක් නෑ..දැන් ඉතින් ලැහැස්ති වෙනවල තම තමන්ගෙ නැදම්මල,මාමල හම්බ වෙන්න "කියල.මේක ඇහුව විතරයි ඔක්කොම එවුන් ටික විලාප තියන්න ගත්තා.මට දැන් මැවිල පේනව අපේ තාත්ත එනවා.ෂුවර් මාව ගෙදර එක්කගෙන යන්නෙ නෑ.යන්න වෙන තැනකුත් නෑ..මෙතනින් පැනල යන්නත් බෑ...එහෙන් සුමුදුලගෙ තාත්තට අද ඉස්කෝලෙ.ඇයි කණිශ්ඨෙ ප්‍රින්සිපල්නෙ.දැන්නම් ලොවෙත් නෑ.......


    ඔන්න ටිකකින් ලොක්කට CALL එකක් දීලද කොහෙද මල පැනල ආවා."ෂිහ්...වැඩක් කර ගන්න දෙන්නෙත් නෑ.,කෝ කවුද කට්ටිය.මෙහාට එන්න කියන්න.කෝ කොහෙද තමුන්ලගෙ ස්කෝල."දැන් බයේ ගැහි,ගැහි ඉන්නවා සෙට් එකම.ඒ අහන ගමන් අපේ එකතු කොර ගත්තු අයිඩින්ටිවල විස්තර කොලේක සටහන් කරණවා.

    බයෙන් ,බයෙන් කෙල්ලො, "මහාමායා....,කොන්වන්ට්.....,පුෂ්පදාන.....

    ආ....පුෂ්පදානෙ කෙල්ලෙක් මම ඊයෙත් අල්ලන් ආව උඩවත්ත කැලේ ඉදල.."

    අප්පේ...කතාව කිසිම ගැලවිල්ලක් නෑ වාගෙ.
    පී .සී....මේ ගොල්ලන්ගෙ ලඟම තියන පොලිස් ස්ථාන වලට දැනුම් දෙන්න එක එක්කෙනාගෙ ගෙවල්වලට මැසේජ් එක දෙන්න කියල.

    අප්පට සිරි, ඒ පාර නම් ඇඳුමෙ අර වැඩේ උන් නැති ටික විතරයි.එතකොටම එතන හිටපු ෂෝක් පොලිස් අක්කියෙක් ඇහැක් ගහල ලොකු අනතුරක් නැති බව ඇ‍ඟෙව්වා.අප්පේ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.ඕන් ට්ක වෙලාවකට පස්සෙ ලොකු මහත්තය ටිකක් සන්සුන් වෙලා එහෙම,පුතේ,දුවේ කියල කතා කරල, තාත්ත කෙනෙක් වාගෙ අවවාද කරල,සෙට් එකටම ආයෙ ජීප්පුවට නගින්න කියල අතෑරියෙ නැද්ද ගෙනිහින් නුවර ටවුම මැද්දෙන්ම.වෙලාවට නුවර අඳුරන අය නැති හින්ද ඉක්මනට දෙන්නම ගිහින් නැග්ග බස් එකකට.කුරුණෑගලට එනකන්ම එක්කෙනෙකුටවත් කතාකර ගන්න වචන ගලපගන්න බැරි උනා එදානම්.

    ගාලු කො‍ටුවත් මේ ලඟදි තහනම් කොලේ බාල වයස්කාර පෙම්වතුන්ට විතරයි මගෙ හිතේ.එදත් ඉතින් අද කාලෙ වාගෙ තමා.........හි,හි..

    Tuesday, November 23, 2010

    පෙම්වතියන් දෙදෙනෙක්.....!!!


    මෙව්ව මෙහෙම ලියන එක හරිද මන්ද?ඒත් ඉතින් වෙන ලියන්න තරම් දෙයක් නැති හින්ද මේකවත් කොටල දාන්න හිතුනා.මේ ඉතින් අපි ඔක්කොමල Teenagers ල කාලෙ සිද්ධ වෙච්ච සිදුවීමක්.

    ඔය ගොඩක් කෙල්ලො කොල්ලන්ගෙ ආතල්ම කාලෙ පටන් ගන්නෙ A/L වලට එනවත් එක්කමනෙ.කෙලින තරමක් පිස්සු කෙලින්න පටන් ගන්නෙ ඔය කාලෙනෙ.කෙල්ලොනම් කොහොමද දන්නෙ නෑ.කොල්ලො තමා ගොඩක්.ඔය කාලෙ ඉතින් ටියුෂන් පටන් ගන්නවත් එක්කම අම්මෝ...නා,නාප්‍රකාර කෑලි...සුදු,කලු,කොට ස්කර්ට්,ජීන්ස්,පට්ට,එල,කලු උනාට ඇ- ලස්සන,අහිංසක ඔය වාගෙ එක,එක ජාතියෙ ඈයො.

    ඔන්න ඉතින් අපි සෙට් එකත් නමෝ විත්තියෙන් කුරුණෑගල ලෙක්ෂිකෝන් එකේ ‍ෆිසික්ස් ක්ලාස් එකට ඇඩ්මිට් උනා.‍ෆිසික්ස් වලට බයෝ කරන අයත් එන හින්ද කට කපල සෙනඟ.අප්පා ළමයින්ගෙ ඉගෙන ගන්න මාර උනන්දුව.අපිට ඉතින් ඕවගෙ ගානක් නෑනෙ.ටියුට් එකත් අතේ තියාගෙන වට පිට බල,බල ඉන්නකොට මෙන්න ඉන්නව අපිට එහා පැත්තෙ බංකුවෙ කොන්ඩෙ කොටට කපපු ස්වීට් කෑල්ලක්.කොහොම කොහොම හරි සති දෙක තුනක් ට්‍රයි කරල ඔන්න කෙල්ල වැ‍ටුනා.

    අප්පා.....දැන් මාර ලව්.කන්නත් බෑ,රෑට නින්ද යන්නෙත් නෑ.ස්කෝල දෙක එක ලග උනත් ඉතින් ඊලඟ සෙනසුරාද වෙනකන් වචනයක් කතා කරන්න හම්බ වෙන්නෙ නෑ.ඔය 2000 දි විතර.ඒ දවස් වල දැන් වාගෙ ෆෝන් තිබුන එකක්යැ.ස්කූල් වෑන් එකේ යන හින්ද යන්තම් ලාවට අත වනාගෙන යනව විතරයි.අම්මෝ...ඒකත් ඇති.ඔහොම,ඔහොම ඉතින් මාස දෙක තුනක් ප්‍රේමය සුන්දරව ගලාගෙන යනවා.

    ඔය අතරෙ දවසක් අපි හැමදාම ක්ලාස් යන බස් එක මිස් උනා.ඊලඟට ආවෙ පොළොන්නරුවක්.දුර යන බස් දැන් වාගෙ තමා ඒ දවස්වලත්.යනව නෙමෙයි විදිනවා.එල්ලුනා ඒකෙ.මෙන්න බොලේ ඊලඟ හෝල්ට් එකෙන් නැග්ගා අහිංසක පෙනුමක් තියන සුන්දර චරිතයක්.කියල වැඩක් නෑ.කොණ්ඩෙ එහෙම මාර දිගයි.ලස්සනට ගොතලා.හරිම අහිංසක පාටයි.අමාරුවෙන් ෆුට් බෝඩ් එකේ හිටපු එකෙක්ව උඩට තල්ලු කරලා මෙයාට ඉඩ අරන් දුන්නා.ඇයි අප්පා ඒ දවස් වල ගෑනු ළමයෙක් දැක්කහම මාර කරුණාවක් හදවතට දැනෙනවනෙ.හි,හි...

    දැන් ඉතින් ඕන් මෙයාගෙන් විස්තර අහනවා.කෙටි පිළිතුරු තමයි ලැබෙන්නෙ.සමහර එව්වට සද්ද නැතිව ඉන්නවා.කොහොම,කොහොම හරි කුරුණෑගලට කිට්‍ටුවෙනකොට යන ක්ලාස් එක අහ ගත්තා.ආ තව කොමස් කරන්නෙ කියලත් කිව්වා.කොහොම හරි දැන් එයාට හිත ගිහිල්ල ටික දවසක් ට්‍රයි කරල,දහසක් බොරු කියල සෙනෙහෙ කොල එහෙම දීල ඇහුවා.

    "අපේ තාත්ත හරි සැරයි අයියෙ,දැන ගත්තොත් එහෙම මාව මරයි."මම නිකමට ඇහුව ඉතින් කවුද තාත්ත කියල.අපේ ගමට එහා ස්කෝලෙ කනිෂ්ඨෙ ප්‍රින්සිපල්ලු.මලකෙලියයි මෙයා විතරලු ඉන්නෙත්.ඔය වෙලාවෙ ඉතින් ආදරෙයි කියලත් නොකිය කිව්වා.

    දැන් අර කලින් එක්කෙනත් ඉන්නවා.එයාගෙ නම "වින්ධ්‍යා".මෙයා "සුමුදු".කොහොම හරි දැන් දකින,දකින පලියට කෙල්ලන්ට ලව් කරන්න ගිහින් එකම ට්‍රැක් එකේ මීටර් දෙකක් වැඩ කරණවා.

    ඔන්න දැන් තුන්කොන් ආදර කතාව සුන්දරව ගලාගෙන යනවා."තුන්කොන් කොහෙද සුන්දර වෙන්නෙ" නේද?ඒ දැන් හිතෙන හැටිනෙ.ඒ දවස්වල ඔව්ව හිතෙන්නෙ නෑ.ඔහේ අරමුණක් නැතුව පිස්සුනෙ කෙලින්නෙ.දැන් ඉතින් වින්ධ්‍යාගෙයි මගෙයි ‍ෆිසික්ස් ක්ලාස් එක උදේ ,සුමුදුට econ ක්ලාස් හවස.එකම දවසෙ.ඔය අතරෙ chemistry ක්ලාස් එකක් සෙනසුරාදට දාපු හින්ද අපේ සෙට් එකම ක්ලාස් මාරු කලා.කොහොම හරි දැන් වින්ධ්‍යායි මමයි එක ක්ලාස් එකේ නෙමෙයි.දැන් මාස හයක් විතර දෙන්නටම බොක්කෙන් ආදරේ කරණවා.එයාලත් එහෙමයි.සෙනසුරාද දවස මාර ෆන්.ඇයි උදේට වින්ධ්‍යා මීට් වෙනවා.හවසට සුමුදු මීට් වෙනවා.ලොවෙත් නෑ......

    ඔය වාගෙ දවසක් සෙනසුරදාවක වින්ධ්‍යා උදේ පාර්ක් එක ලඟට එනව කිව්වට ආවෙ නෑ.පැයක් විතර බලන් හිටියා..ම්ම්හු නෑ.මෙන්න බොලේ එතකොටම අපේ බැජියො ටික කඩා පාත් උනා.උනුත් උදේ ක්ලාස් එක කට් කරල.ඔය වෙලාවට ඉතින් පාර්ක් එකට සෙට් උනාම මල් පූජාව වරදින්නෙ නෑ.
    "මල්" කියන එකනම් නොදන්න කෙනෙක් නැතිව ඇති මගෙ හිතේ.ඕකත් ඉතින් අර හිස් අහසෙ "මුල්ල පටස්" වාගෙ තමා.තැපෑලෙදි තමා නන්නත්තාරම වෙන්නෙ.ටික වෙලාවක් ඉතින් ඔතන පාවෙවී ඉන්නකොට සුමුදු ක්ලාස් ඇරෙන වෙලාව කිට්‍ටු උන නිසා හිමිහිට ස්ටෑන්ඩ් එකේ ප්‍රයිවට් බස් ගහන පැත්තට කිට්‍ටු උනා.දැන් ඉතින් මල් පාරෙන් සුමුදු එන දිහා අඩවන් දෙනෙතින් බලන් ඉන්නකොට මෙන්න බොලේ වින්ධ්‍යයි එයාගෙ යාලුවයි එනවා.මට පුල් හොල්මන්.මම කල්පනා කරනව"යකෝ මේ උදේ ද?,වොච් එක බැලුවා...මොන උදයක්ද???දැන් එකත් පහුවෙලානෙ.මෙයා කොහෙද මෙහෙ????" එහෙන් මල වැඩ.මෙහෙන් වෙන පිස්සු විකාරයක් වෙනවා.මට ඔක්කොම අඤ්ඤ කොරොස්.

  • වින්ධ්‍යා:-"දිනු...මොකද මෙතන???
  • මම:- ආ..මම මේ ගෙදර යන්න කියල...
  • වින්ධ්‍යා:-ඇත්තද??අර එන්නෙ සුමුදුත් දෙන්නවම මීට් උන එක හොඳයි....

  • ඇත්තමයි ඒ වෙලාවෙ පොලිඩෝල් බෝතලයක් තිබුනනම් බීගෙන,බීගෙන යනවා.මොකද මේ මොනවත් තවම දන්නෙ නැති සුමුදු ආපහු ගෙදර යන්න ස්ටැන්ඩ් එකට එනවා.අපි දෙන්නගෙම ගෙවල් ලඟ හින්ද එක බස් එකේනෙ යන්නෙ.

    දෙයියනේ!!!!මොනවද මේ වෙන්න යන්නෙ.සුමුදු ලගට ආව විතරයි වින්ධ්‍යා මේ ඔක්කොම එයාට කිව්වා.මේ ඔක්කොටම වග කියන්න ඕනෙ මම අපතය වාගෙ මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා.මෙන්න බොලේ දෙන්නම බදාගෙන අඬන්න ගත්තෙ නෑද්ද ස්ටෑන්ඩ් එක මැද්දෙ.මේ අස්සෙ මට අර "මල"ත් වැඩනෙ.මට දැන් මළ ගෙවල්,සුදු කොඩි,ගොක් කොල එහෙම මැවිල පේනවා.

    ටික වෙලාවක් යනකොට වටේ පිටේ තියන පෙට්ටි කඩ වල බුවාල,ඇපල් තට්‍ටු වල පොරවල්,ප්‍රයිවට් බස් කොන්දල එහෙම ටික,ටික අපි දිහාට කිට්‍ටු වෙන්න ගත්තා.අවසිහියෙන් වාගෙ උනත් මට තේරුනා එන පොට හොඳ නෑ කියල.දෙන්නව දෙපැත්තට කරල සුමුදුගෙ අතින් අල්ල ගත්තා.එතකොටම වින්ධ්‍යා මම එයාට දීපු ලියුනුයි,රෝස මල් පොකුරුයි,බර්ත් ඩේ කාඩ් ඔක්කොම ටික මං දිහාට දමල ගහල යන්න ගියා.ඇත්තටම සුමුදු කියන්නෙ හරි හොඳ කෙල්ලෙක්....ඇස් දෙකේ කදුළු පුරෝගෙන එයා ඉක්මනට අර වින්ධ්‍යා විසි කරපුව ටික ඇහිලුවා.අහුලගෙන "අපි ඉක්මනට මෙතනින් යමු දිනේෂ්" කිව්වා.......
    ඔන්න ඔහොමයි ඉතින් දෙන්නෙකුට ලව් කරන්න ගිහින් අන්තිමට උන දේ.මදෑ ඔයින් ගියා.

    ප.ලි:- පිස්ස කියනව වාගෙ මේක මෙලෝ රහක් නැද්ද දන්නෙ නෑ.ඒ උනත් ඉතින් පරණ මතකෙ තිබිච්ච එකක් ඔන්න ඔහෙ ලියල දැම්මා.

    කොහොමත් දැන් ඉතින් අන්තිමට "අකේලේ හම්"



    ..........................................................................