ලොකු යන්ත්‍ර වලින් පාරෙ හිම අයින් කරණවා.හිතට පුරුදු තනිකම ආයෙත් දැනෙන්න උනා.ආයෙමත් හිත අතීතයට පියමන් කලා...................
ඒ 1982 අගෝස්තු දෙවනිදායි.කුරුණෑගල මහ රෝහලේදී මගේ උපත සටහන් වීඇත.ඒ වනවිට සීයා C.T.B බස් රියදුරෙකි.
'ලොකු කෙල්ලට සරමක්ලු......"
පවුලේ ප්‍රථම දරු උපත නිසා තාත්තා හැරුනුකොට අනිත් හැම දෙනාටම වඩා සතුටු වී ඇත්තේ මගේ සීයාය.මහියංගනය බලා ධාවනය වෙමින් තිබූ බසය වරකාපොලදී වෙනත් රියදුරු මහතෙකුට බාර දී පැමිණි ඒ අවස්ථාවේ පටන් නැවත සේවයට වාරථා කොට ඇත්තේ සතියක්ම ඉක්ම වූ පසුවය.
තාත්තාට වයස විසි හතරේදීත් අම්මාට විස්සේදීත් දරු සුරතල් බැලීමට තරම් ඒ දෙදෙනාද වාසනාවන්ත වී ඇත.මවගේ නැඟනියන් තිදෙනෙකු,එක් මාමා කෙනෙකු ද ඇතුලුව පවුලේ සැමගේ ආදරය මධ්‍යයේ ගෙවුනු ඒ බාල කාලය සිතට ගෙන දුන්නේ ඉමහත් සුන්දරත්වයකි.අක්කර පහක පමණ වපසරියකින් යුතු වූ අම්මාගේ මහ ගෙදර වත්තේ මම පුංචිලාද සමඟ මහත් කෙළිදෙලෙන් කාලය ගත කලෙමි.සැමදාම උදයේ හරකුන් දිගේලි කිරීම සඳහා අප වත්තට පැමිණෙන පොඩි අප්පුහාමි මාමා එකල මා කැමතිම චරිතයකි.
"නංගියෙ වේ පඳුරු ලඟ පුවක් ගස් ටිකේ නම් පුවක් සේරම ඉදිලා.....වවුල්ලු කාපුවත් ගෙඩි හතලිහක් පණහක් විතර වැටිල තියනවා.........."
උදේ කහට කෝප්පය අපේ ගෙදරින් පානය කරනු වස් හැමදාම නිවසට පැමිණෙන්නේ එවැනි කුමක් හෝ හේතුවක් නිර්මාණය කර ගනිමිනි.නමුත් පසු කාලීනව දැන ගත් පරිදි බුවා පල් හොරෙකි.තාත්තා කියන පරිදි වත්ත පහල ඇති ළිං දෙකට සතියකට සැරයක් බාල්දියක් දැමිය යුතුමය.පාන්දරට වැටෙන පොල්ද,යාන්තමින් ඉදීගෙන එන අන්නාසි ගෙඩිවලටද වග කියන්නේ ඔහුය.නමුත් සියල්ල දැනගෙනත් කිසිවෙක් ඔහු හා උරණ නොවූයේ මන්දැයි මට සිතා ගත නොහැකිය.සමහර විට ගමේ කමට වන්නත් පුලුවන.
මවගේ නැඟනියන්ගෙන් මා කැමතිම චූටි පුංචිටය.මට වඩා වසර හතරකින් පමණ වැඩිමහල් වුන ඇය අදටත් මට සිටින එකම මිතුරියයි.සහෝදර සහෝදරියන් කිසිවෙක් නොනැති මාහට එකම සහෝදරිය වූයේද ඇයයි.කොණ්ඩ කරල් දෙකක් ගෙතූවිට මනීෂාට සමාන රූසපුවකින් හෙබි ඈ සමාගමය බෙහෙවින් ප්‍රිය කිරීමට තවත් එක් හේතුවක් ලෙස ඇගේ මිතුරියන්ද හේතු වූවා විය හැක.ඒ මන්ද යත් ඔවුන් මා දුටු විට "අනේ......අක්කගෙ පුතාද....." කියා මාද සුරතල් කරණ බැවිනි.
මගේ ජීවිතයේ ද අන් සැමගේ මෙන්ම ප්‍රධාන චරිතය "තාත්තා'යි.83 ජූලි කලබල පැවති දින වකවානුවක රාත්‍රියේ මා තදබල ලෙස අසනීප වූ අවස්ථාවක අවසිහියෙන් මෙන් උඩු කය ඇඳුමක්ද නොමැතිව පොතුහැර සිට කුරුණෑගලට මා වඩාගෙන පයින් ගමන් කල පුවත පසු කලක මවගෙන් අසා දැන ගත් මොහොතේ තාත්තා ගැන ඇති වූ ඒ බලවත් ආදරයද සමග සිත් වූයේ කෙදිනක හෝ මා පිය පදවිය ලද දිනක මෙවන් කැපවීමක් කිරීමට තරම් මාහට හැකියාවක් ඇතිවේද යන්නයි.ත්‍රී රෝද සහ වාහන බහුල සහ වෛද්‍යවරයා එක් දුරකතන ඇමතුමකින් නිවසට ගෙන්වා ගැනීමේ හැකියාව ඇති මෙකලනම් යාන්තමට ඒ ගැන බිය වීමට කාරණාවක් නැත.නමුත් මීට වෙනස් දෙයක් සිදු උනොත්..........!!!.
කිසි දිනක මත් පැන් හෝ දුම් පානය නොකල තාත්තා මා ප්‍රථම වරට ගල් බාගයකින් පදම් වී නිවසට පැමිණි අවස්ථාවේදී හැඩූ දින පටන් මත් පැන් පානය අත හැර දැමූ මුත් දුම් පානය අත හැර දැමූවේ තවත් පියෙකු බඳු වූ දැනට අප ආයතනයේ හිමිකරු නිසාවෙනි.කිසි දිනක මව හා පියා උරණ වීනොමැති අතර කුමන හෝ හේතුවකට තාත්තා අම්මාට බැන වැදුනේ වීනම් හේතුව ලෙස සිටියේ මාය.මා විශිෂ්ට ලෙස ශිෂ්‍යත්වය සමත් වූ දින තාත්තා සතුටින් සිටිනු දුටු විශේෂ දිනයකි.ප්‍රථිඵල දැන ගත් දිනම මා බලාපොරොත්තුව සිටි ඒ ස්පෝට් වර්ගයේ බයිසිකලය අරන්දීමට තරම් තාත්තා ත්‍යාග ශීලී විය.පසු කලෙක වැරදීමකින් අපේම වෑන් රථයට එය මා විසින්ම යට කල මොහොතේ තාත්තා මුවින් නොබැන සිටියද හදවතින්ම මා දුක් වුන ප්‍රථම අවස්ථාව එය විය.
තාත්තා සේවයට ගිය පසු නිවසේ හිටියේ අම්මාත් මමත් පමණි.මව කිසි දිනක රැකියාවක් නොකල බැවින් ම්ව් සෙනෙහස අපිරිමිතව විඳීමේ භාග්‍යය මා හට උදා වී තිබින.දවල් වරුවේ මා පාසැල් ගොස් එන තුරු මග බලා සිටින ඈ සවස් වන විට මාද තුරුළු කරගෙන දොරකඩට වී බලා සිටින්නේ තාත්තා එන තුරුය.සිහින් කුඩු පොදක් වැටුනත්
"අද තාත්ත කුඩේ අරගෙන ගියෙත් නෑ....ඔයා ඔහොම ඉන්නවද මම හන්දියෙ කඩෙන් කුඩේ තියල එනකන්...."
"අම්ම මට වැඩිය තාත්තට ආදරේ....."
දවසක් පියා එසේ වැස්සත් සමග නිවසට පැමිණි අවස්ථාවක නොතේරුම් කමට කීවේ ඇත්තටම මා නිවසේ තනිවම දමා කුඩය දීමට ගිය තරහවටමය."නෑ....අම්ම මගෙ පුතාට තමා ගොඩක්ම ආදරේ...."කියමින් තාත්තා මා සැනසූ අයුරු අද මෙන් සිතේ සනිටුවන් වී ඇත.
ටිකෙන් ටික වයසින් මුහුකුරා යන්නට වත්ම අලුත්,අලුත් සබදතා ජීවිතයට එකතු වන්නට විය.පුංචිලා දෙදෙනෙකුගේ විවාහයත් සමඟ බාප්පලා දෙදෙනෙක් අප නෑදෑකමට එකතු විය.මා විදෙස් ගත වී ටික කලකින් චූටි පුංචිද විවාහ වී දුරු රටක පදිංචියට යාම කෙල්ලන් වෙනුවෙන් දුක් වෙමින් සිටි මාගේ සිතට තවත් මහා වේදනාවක් ගෙන දෙන්නක් විය.වෙනදා සහෝදරියක් මෙන් දුකේ දී සැපේදී සිටි ඈද මගෙන් ඈත් විනි.
ගමේදී මෙන්ම පාසැලේදීද මිතුරන් බොහෝ විය.ඔවුන් නිසා නිවසින් බැණුම් ඇසූ වාර ගනනද අනන්තය.මන්ද යත් කරණ තරමක් කලේ වැරදි ක්‍රියා නිසාවෙනි.පසු කාලීනව කෙල්ලන් දෙදෙනෙකුද ජීවිතයට ඇතුලු වීමත් සමග මෙතෙක් කල් ගෙවූ ජීවන රටාවේ තවත් පිටුවක් පෙරලුවාක් මෙන් හැඟින.නමුත් හිතට එකඟව කිසිවක් සිදු නොවූ නිසාත් සැබෑ ආදරය තේරුම් ගැනීමට නොහැකි වූ නිසාත් ඒ සබදතාද බිඳ වැටුනේ නෙතට කඳුලක්ද එක් කරමිනි.එතැන් පටන් මේ වනතෙක් ජීවිතයේ ඇත්තේ හිස් තැනකි.යන්තම් වයස විසි දෙකේදී මේ සැමගෙන් සමුගත් මා අදින් පටන් ගන්නා වසරේ පටන් ගෙවෙනුයේ විසි නවවෙනි සැතපුම් කනුවයි.පුරා සත් වසරක් දෙමාපියන්ගෙන් ,නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන්වී ගෙවූ කාලය මට දැනෙනුයේ සිර ගතවීමක් ලෙසටය.ඉදින් මේ වසරේදීවත් නැවත මේ සැම අතරට යාමට ඉටා ගත්තේ පරක්කු වී හෝ මුදල් ජීවිතය නොවන බව පසක් වීමට පරක්කු වුන නිසාම නම් නොවේ.
ඉතින් තව දුරටත් වැල් වටාරම් ලියා කියවන කාගේ හෝ කාලය කා දැමීමට තරම් සිත් නොදෙන නිසා මාගේ මේ තේරුමක් නැති ලිපිය අවසාන කරමි.
ඔබ සැමට සාමය ,සතුට ,සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා..............!!!!
............... දිනේෂ්.........