අද අලුත් අවුරුද්දෙ පලවෙනි දවස.ගෙදර හිටියනම් කුස්සියට වෙලා අම්ම කිරිබත් උයන දිහා බලාගෙන ඉන්නයි,බෙදන්න කලින් ටිකක් හැන්දටම අරන් කවාගන්නයි තිබුනා.ඒ උනාට එලියට බැහැල බලපුවාම වෙනස්ම පරිසරයක්.හාත් පස හිම වැටිලා.

ලොකු යන්ත්‍ර වලින් පාරෙ හිම අයින් කරණවා.හිතට පුරුදු තනිකම ආයෙත් දැනෙන්න උනා.ආයෙමත් හිත අතීතයට පියමන් කලා...................
ඒ 1982 අගෝස්තු දෙවනිදායි.කුරුණෑගල මහ රෝහලේදී මගේ උපත සටහන් වීඇත.ඒ වනවිට සීයා C.T.B බස් රියදුරෙකි.
'ලොකු කෙල්ලට සරමක්ලු......"
පවුලේ ප්‍රථම දරු උපත නිසා තාත්තා හැරුනුකොට අනිත් හැම දෙනාටම වඩා සතුටු වී ඇත්තේ මගේ සීයාය.මහියංගනය බලා ධාවනය වෙමින් තිබූ බසය වරකාපොලදී වෙනත් රියදුරු මහතෙකුට බාර දී පැමිණි ඒ අවස්ථාවේ පටන් නැවත සේවයට වාරථා කොට ඇත්තේ සතියක්ම ඉක්ම වූ පසුවය.
තාත්තාට වයස විසි හතරේදීත් අම්මාට විස්සේදීත් දරු සුරතල් බැලීමට තරම් ඒ දෙදෙනාද වාසනාවන්ත වී ඇත.මවගේ නැඟනියන් තිදෙනෙකු,එක් මාමා කෙනෙකු ද ඇතුලුව පවුලේ සැමගේ ආදරය මධ්‍යයේ ගෙවුනු ඒ බාල කාලය සිතට ගෙන දුන්නේ ඉමහත් සුන්දරත්වයකි.අක්කර පහක පමණ වපසරියකින් යුතු වූ අම්මාගේ මහ ගෙදර වත්තේ මම පුංචිලාද සමඟ මහත් කෙළිදෙලෙන් කාලය ගත කලෙමි.සැමදාම උදයේ හරකුන් දිගේලි කිරීම සඳහා අප වත්තට පැමිණෙන පොඩි අප්පුහාමි මාමා එකල මා කැමතිම චරිතයකි.
"නංගියෙ වේ පඳුරු ලඟ පුවක් ගස් ටිකේ නම් පුවක් සේරම ඉදිලා.....වවුල්ලු කාපුවත් ගෙඩි හතලිහක් පණහක් විතර වැටිල තියනවා.........."
උදේ කහට කෝප්පය අපේ ගෙදරින් පානය කරනු වස් හැමදාම නිවසට පැමිණෙන්නේ එවැනි කුමක් හෝ හේතුවක් නිර්මාණය කර ගනිමිනි.නමුත් පසු කාලීනව දැන ගත් පරිදි බුවා පල් හොරෙකි.තාත්තා කියන පරිදි වත්ත පහල ඇති ළිං දෙකට සතියකට සැරයක් බාල්දියක් දැමිය යුතුමය.පාන්දරට වැටෙන පොල්ද,යාන්තමින් ඉදීගෙන එන අන්නාසි ගෙඩිවලටද වග කියන්නේ ඔහුය.නමුත් සියල්ල දැනගෙනත් කිසිවෙක් ඔහු හා උරණ නොවූයේ මන්දැයි මට සිතා ගත නොහැකිය.සමහර විට ගමේ කමට වන්නත් පුලුවන.
මවගේ නැඟනියන්ගෙන් මා කැමතිම චූටි පුංචිටය.මට වඩා වසර හතරකින් පමණ වැඩිමහල් වුන ඇය අදටත් මට සිටින එකම මිතුරියයි.සහෝදර සහෝදරියන් කිසිවෙක් නොනැති මාහට එකම සහෝදරිය වූයේද ඇයයි.කොණ්ඩ කරල් දෙකක් ගෙතූවිට මනීෂාට සමාන රූසපුවකින් හෙබි ඈ සමාගමය බෙහෙවින් ප්‍රිය කිරීමට තවත් එක් හේතුවක් ලෙස ඇගේ මිතුරියන්ද හේතු වූවා විය හැක.ඒ මන්ද යත් ඔවුන් මා දුටු විට "අනේ......අක්කගෙ පුතාද....." කියා මාද සුරතල් කරණ බැවිනි.
මගේ ජීවිතයේ ද අන් සැමගේ මෙන්ම ප්‍රධාන චරිතය "තාත්තා'යි.83 ජූලි කලබල පැවති දින වකවානුවක රාත්‍රියේ මා තදබල ලෙස අසනීප වූ අවස්ථාවක අවසිහියෙන් මෙන් උඩු කය ඇඳුමක්ද නොමැතිව පොතුහැර සිට කුරුණෑගලට මා වඩාගෙන පයින් ගමන් කල පුවත පසු කලක මවගෙන් අසා දැන ගත් මොහොතේ තාත්තා ගැන ඇති වූ ඒ බලවත් ආදරයද සමග සිත් වූයේ කෙදිනක හෝ මා පිය පදවිය ලද දිනක මෙවන් කැපවීමක් කිරීමට තරම් මාහට හැකියාවක් ඇතිවේද යන්නයි.ත්‍රී රෝද සහ වාහන බහුල සහ වෛද්‍යවරයා එක් දුරකතන ඇමතුමකින් නිවසට ගෙන්වා ගැනීමේ හැකියාව ඇති මෙකලනම් යාන්තමට ඒ ගැන බිය වීමට කාරණාවක් නැත.නමුත් මීට වෙනස් දෙයක් සිදු උනොත්..........!!!.
කිසි දිනක මත් පැන් හෝ දුම් පානය නොකල තාත්තා මා ප්‍රථම වරට ගල් බාගයකින් පදම් වී නිවසට පැමිණි අවස්ථාවේදී හැඩූ දින පටන් මත් පැන් පානය අත හැර දැමූ මුත් දුම් පානය අත හැර දැමූවේ තවත් පියෙකු බඳු වූ දැනට අප ආයතනයේ හිමිකරු නිසාවෙනි.කිසි දිනක මව හා පියා උරණ වීනොමැති අතර කුමන හෝ හේතුවකට තාත්තා අම්මාට බැන වැදුනේ වීනම් හේතුව ලෙස සිටියේ මාය.මා විශිෂ්ට ලෙස ශිෂ්‍යත්වය සමත් වූ දින තාත්තා සතුටින් සිටිනු දුටු විශේෂ දිනයකි.ප්‍රථිඵල දැන ගත් දිනම මා බලාපොරොත්තුව සිටි ඒ ස්පෝට් වර්ගයේ බයිසිකලය අරන්දීමට තරම් තාත්තා ත්‍යාග ශීලී විය.පසු කලෙක වැරදීමකින් අපේම වෑන් රථයට එය මා විසින්ම යට කල මොහොතේ තාත්තා මුවින් නොබැන සිටියද හදවතින්ම මා දුක් වුන ප්‍රථම අවස්ථාව එය විය.
තාත්තා සේවයට ගිය පසු නිවසේ හිටියේ අම්මාත් මමත් පමණි.මව කිසි දිනක රැකියාවක් නොකල බැවින් ම්ව් සෙනෙහස අපිරිමිතව විඳීමේ භාග්‍යය මා හට උදා වී තිබින.දවල් වරුවේ මා පාසැල් ගොස් එන තුරු මග බලා සිටින ඈ සවස් වන විට මාද තුරුළු කරගෙන දොරකඩට වී බලා සිටින්නේ තාත්තා එන තුරුය.සිහින් කුඩු පොදක් වැටුනත්
"අද තාත්ත කුඩේ අරගෙන ගියෙත් නෑ....ඔයා ඔහොම ඉන්නවද මම හන්දියෙ කඩෙන් කුඩේ තියල එනකන්...."
"අම්ම මට වැඩිය තාත්තට ආදරේ....."
දවසක් පියා එසේ වැස්සත් සමග නිවසට පැමිණි අවස්ථාවක නොතේරුම් කමට කීවේ ඇත්තටම මා නිවසේ තනිවම දමා කුඩය දීමට ගිය තරහවටමය."නෑ....අම්ම මගෙ පුතාට තමා ගොඩක්ම ආදරේ...."කියමින් තාත්තා මා සැනසූ අයුරු අද මෙන් සිතේ සනිටුවන් වී ඇත.
ටිකෙන් ටික වයසින් මුහුකුරා යන්නට වත්ම අලුත්,අලුත් සබදතා ජීවිතයට එකතු වන්නට විය.පුංචිලා දෙදෙනෙකුගේ විවාහයත් සමඟ බාප්පලා දෙදෙනෙක් අප නෑදෑකමට එකතු විය.මා විදෙස් ගත වී ටික කලකින් චූටි පුංචිද විවාහ වී දුරු රටක පදිංචියට යාම කෙල්ලන් වෙනුවෙන් දුක් වෙමින් සිටි මාගේ සිතට තවත් මහා වේදනාවක් ගෙන දෙන්නක් විය.වෙනදා සහෝදරියක් මෙන් දුකේ දී සැපේදී සිටි ඈද මගෙන් ඈත් විනි.
ගමේදී මෙන්ම පාසැලේදීද මිතුරන් බොහෝ විය.ඔවුන් නිසා නිවසින් බැණුම් ඇසූ වාර ගනනද අනන්තය.මන්ද යත් කරණ තරමක් කලේ වැරදි ක්‍රියා නිසාවෙනි.පසු කාලීනව කෙල්ලන් දෙදෙනෙකුද ජීවිතයට ඇතුලු වීමත් සමග මෙතෙක් කල් ගෙවූ ජීවන රටාවේ තවත් පිටුවක් පෙරලුවාක් මෙන් හැඟින.නමුත් හිතට එකඟව කිසිවක් සිදු නොවූ නිසාත් සැබෑ ආදරය තේරුම් ගැනීමට නොහැකි වූ නිසාත් ඒ සබදතාද බිඳ වැටුනේ නෙතට කඳුලක්ද එක් කරමිනි.එතැන් පටන් මේ වනතෙක් ජීවිතයේ ඇත්තේ හිස් තැනකි.යන්තම් වයස විසි දෙකේදී මේ සැමගෙන් සමුගත් මා අදින් පටන් ගන්නා වසරේ පටන් ගෙවෙනුයේ විසි නවවෙනි සැතපුම් කනුවයි.පුරා සත් වසරක් දෙමාපියන්ගෙන් ,නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන්වී ගෙවූ කාලය මට දැනෙනුයේ සිර ගතවීමක් ලෙසටය.ඉදින් මේ වසරේදීවත් නැවත මේ සැම අතරට යාමට ඉටා ගත්තේ පරක්කු වී හෝ මුදල් ජීවිතය නොවන බව පසක් වීමට පරක්කු වුන නිසාම නම් නොවේ.
ඉතින් තව දුරටත් වැල් වටාරම් ලියා කියවන කාගේ හෝ කාලය කා දැමීමට තරම් සිත් නොදෙන නිසා මාගේ මේ තේරුමක් නැති ලිපිය අවසාන කරමි. ඔබ සැමට සාමය ,සතුට ,සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා..............!!!!
............... දිනේෂ්.........
හැමෝටම පොදු ස්ටෝරි මම විතරක් ලියන එක හරි මදි කියලත් හිතෙනව.ඒ උනාට හිතට එන දේ ඔන්න ඔහෙ ලියල දාපන් කියලත් හිත කියනව.කොහොම උනත් හිතට කාවැදුන සුන්දර දවසක් එදා.
ඔන්න වෙනද වාගෙම දහසක් බලාපොරොත්තු එක්ක සති අන්තය උදා උනා.සතියෙ දවස් පහේ කෑල්ල එක්ක වචනයක් කතා කරන්න හම්බ වෙන්නෙ නෑනෙ.ස්කෝලෙ ඇරිල කොන්වන්ට් එක ලඟ චා වෙන්නත් බෑ.එහෙන් ස්කූල් වෑන් එකේ ඒකෙ මිස්ල දෙන්නෙකුත් යනවා.දැක්කොත් එහෙම සොරිම තමා.සමහර දවස් වලට අපේ වෑන් එක කලින් ගියොත් යන්තන් මූන බලා ගන්නවත් හම්බ වෙන්නෙ නෑ.සෙනසුරාද දවස මරු.උදේ අට ,පහ ක්ලාස්........හැබැයි යාම අවාරෙට අඹ වැටෙනව වාගෙ.මේ දවස් වල අම්මටත් මගෙන් හෙන වදේ ඇඳුම් ගන්න සල්ලි ඉල්ලල.
"මේ ලමයගෙ දැන් ස්ටයිල් එක වැඩියි...........කෙල්ලෙක්වත් සෙට් කරගෙනද දන්නෙ නෑ ඉන්නෙ..........,ඉන්නවකො තාත්තට කියන්න ටිකක් හොයල බලන්න කියල."
හික්........හොයයි. තාත්ත එන ටවුන්.
වෙනද වගේම උදේ මිනුවන්ගොඩ බස් හෝල්ට් එකට වෙලා පොතත් දෙකට නමාගෙන ,අම්මට වදේ දාල ගත්ත කැට් දෙකත් බස්සල එහෙම ජෙන්ට වගෙ ඉන්නකොට..........
"මම පරක්කු උනාද......?"
වින්දි.
"ගොඩක් වෙලාද ඇවිත්......."
නෑ................. ම්..ම්.....ඔයා අද ලස්සනයි......
"ඇයි අද විතරද....?"
නැ..........හැ........අද ගොඩක් ලස්සනයි.
ඇත්තටම අද අමුතු ලස්සනක් මතුවෙලා පේනව.උදේ පාන්දර පිපුන රෝස මලක් වගේ.ඇඳුමටද????උදේ හින්දද???මොහොතක් එයා දිහා බලාගෙන මම කල්පනා කලා.
"මෙතන ඉන්න බැහැ අනේ......"
ඔයාට අද class නොගියොත් පාඩුයි නේද?
"ඔව් යමුද........??අද Inorganic පටන් ගන්නව කිව්ව........"
මම ඉගෙන ගන්නෙත් නෑ.මේ කෙල්ලට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ.
"සචීලගෙන් නෝට් එක ඉල්ල ගන්න බැරිද?"
අහිංසක විදියට මූන දිහා බලල හිනා වෙලා ඔලුව වැනුවා.
"කොහෙද යන්නෙ.......?"
"නුවර යමුද?.........."
යන ගමන් මගෙ දෙකට නවාගෙන හිටපු පොතත් එයා අරගෙන එයාගෙ පොත් එක්ක තියා ගත්තා.වෙලා.........වට .පොත ඇනයක් වෙලා තිබුනෙ.
"ආ...........එන්න,එන්න නගින්න නුවර ඩබල් සීට් තියනවා........"
ඉන්ටසිටියෙ කොන්දගෙන් බේරිල්ලක් නෑ.දැන් ඔය වෙලාවට බස් එකේ කොලිටියත් බලනවනෙ.චා බස් වල යන්නෙ නෑ.ෆුල් කන්ඩිෂන් තියෙන්න ඕනෙ.කර්ටන් අනිවාර්යයි.වෙලාවට කොලිටි ජර්නියක් තිබුනෙ.වම් පැත්තෙ පෙම් මුල්ල ආක්‍රමණය කරල තිබුන හින්ද දකුණු පැත්තෙ වාඩි උනා.දැන් ඔන්න හිමින්,හිමින් බස් එකත් යනවා.දැන් හරියටම මෙයා මීට් වෙලා සති පහයි.ආදරේ උතුරනවා.
"ආයෙ සිගරට් බිව්වෙ නෑ නේද.......?"
"ම්.............නෑ."
"හොඳ ළමය.........බිව්වොත් මට හොයා ගන්න පුලුවන්......."
ඒ කොහොමද?"
"මට පුලුවන්නෙ........"
දැන් නුවර ගිහින් මොකද කරන්නේ...........??.වැව රවුමෙ ඇවිදින එකත් චා වැඩේ.හවස පහ පහුවෙනකන් ගෙදර යන්නත් බෑ.හරි......ෆිල්ම් එකක් බලනවා.ඒ උනාට කොහොමද මේක මෙයාට කියන්නෙ.....???කොහෙ එකටද යන්නෙ..?නුවරට ගියොත් මාළිගාව ලඟින් බහින්නම වෙනවා.ගුඩ් ෂෙඩ් ගිහින් ආයෙ පයින් එන්නත් බෑ.වීල් වලට දෙන්න සල්ලි තියන එකක්යැ..හික්.............හරිනෙ....එරීන යනවා.යන ගමන්ම බහින්නත් පුළුවන්.එල,එල. ආ......හ්, ඒත් මොකද්ද දන්නෙ නෑනෙ තියෙන්නෙ.ජරා එකක් තිබුනොත්...!හරි...එහෙම උනොත් සීගිරි එකට යන්න පුලුවන්.ගොඩයි.දැන් කොහොමද වචන ටික එලියට දාන්නෙ....??බනියිද? ආපහු යන් කියයිද??දැන් තවත් ප්‍රශ්නයක්.
"වින්දි...කටුගස්තොටින් බහිමුද...?"
පුදුමෙන්වාගෙ
"ඇයි ඒ....?"
"බහිමුද කියන්නකො"
"ඇයි....!නුවරට යමු."
වැඩේ අප්සෙට් යාගෙන වාගෙ එන්නෙ.
"හා.....,හා..."
ටිකකින්
"ඇයි බහිමු කිව්වෙ...!?"
"නෑ......මේ.....ෆිල්ම්...එක...ක් බලමුද???"
දැන්නම් ඔක්කොම ඉවරයි....මම මටම බැන ගන්නවා.එහෙම අහන්නෙ නැතුව ඉන්න තිබුනෙ.ලොකු නිහඬතාවයක්.මුලු ඇඟම දැඩි නියගකෙට අහු උනා වාගෙ වියලිලා.බස් එකේ කැසට් එකෙන් පටිය දෙවනි සැරේටත් ඔටෝ රිවස් උනා.
"සුර දූතියෝ.......සුකුමාලියෝ......පාවේවි මියුරු ගීතිකා අසා.......,පාට පාට තරු සේ ආලෝකේ......"
"කටුගස්තොට බහින එක්කෙනා ඉස්සරහට එන්න..."
කවුදෝ බහින්නයි ලෑස්තිය.
"බහිනවද?" වින්දිගෙ කට හඬ. දෙයියනේ.........!!හීනයක්ද...?ඉක්මනට බහින්න සූදානම් උනා."ඕගොල්ලොත් බහිනවද.....? ඉස්සරහින් පොඩ්ඩක් දාල යා...ං...."
වින්දිගෙ අතින් අල්ලගෙන පාරත් මාරු උනා.ගොඩම තමයි පට්ට ෆිල්ම් එකක් තියෙන්නෙ."දිල්තො පාගල් හේ".දෙයියො මූන බලනව කියන්නෙ ඕකනෙ....තව පැයක් තියනව.සති අන්තෙ හින්ද ඔන්න කෆලුත් එක දෙක හිමිහිට මේ පැත්තට පාවෙන්න උනා. O.D.C,බැල්කනි,සුපර් බැල්කනි.......හික්........
"සුපර් බැල්කනි දෙකක් දෙන්න".
ඔන්න පිටිපස්සෙම පේළියෙන් වාඩි උනා.එයානම් ගොඩක් බයවෙලා.
"සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා,කියන්න ඇයි ඔබ නාවේ........"
තාම පසුබිම් සංගීතය .තව විනාඩි විස්සක් විතර තියනවනෙ.කොහොම හරි ඔන්න ටිකෙන් ටික රඟහල අඩ අදුරට පිවිසුනා.දැන් comming කෑලි ප්‍රදර්ශනය.හිත මහත් දෙගිඩියාවක.
"මෙයාගෙ අතින් ඇල්ලුවොත් මොනවත් හිතයිද??? ම්..මොනව හිතන්නද?"
හිමින්,හිමින් මගේ දකුණු අත වින්දිගෙ වම් අත ස්පර්ශයට ලඟා උනා.ඒ සීතල අතේ සියුමැලි ඇඟිලි වලින් මගේ අත හයියෙන් අල්ල ගත්තා.මගෙ හිතේ පැය බාගයක්වත් එහෙම තියෙන්න ඇති.නිකමට වට පිට ටිකක් ඇහැ දැම්මා.
හි.....හි.....සමහර දෙන්න හිටපු ස්ථාන වල කෙල්ලව හොයා ගන්න අමාරුයි.තව ටිකක් ඈතට වෙන්න දෙන්නම එක්කෙනෙක් වාගෙත් පේනවා.XXX සීනුත් සමහර තැන්වල දර්ශනය වෙනවා.වින්දි කතාවක් නැතුව ෆිල්ම් එක බලනවා.මගේ දකුණු අත හිමී.....න් එයාගෙ අතින් මිදිලා එයාගෙ උරහිස වටා යැවුනා.නොදැනුවත්වම එයාගෙ මුහුන මගෙ උරහිසට බර උනා.පපුව ගැහෙන වේගෙ එලියට ඇහෙනවද මන්ද? ඩක්.........ඩක්......ඩක්......
"අපි හැමදාම මෙහෙම ආදරෙන් ඉන්නව නේද....?"
යාන්තමට වින්දිගෙ කට හඬ අවදි උනා.
"ඔව්....හැමදාටම.."
එතකොටම එයා යාන්තමට ඔලුව උස්සල මගෙ ඇස් දෙක දිහා බැලුවා.ඇත්තටම කෙල්ලෙක්ගෙ ආදරේ හරියටම දැකපු එකම එක දවස.මගේ මුහුන තවත් ඒ මුහුනට ලං උනා.එයාගෙ වම් අතත් හිමින් මගෙ බෙල්ල වටේ එතුනා.වින්දි හුස්ම පහල හෙලන රස්නෙ දැන්,දැන් ගොඩක් තදින් දැනෙන්න උනා.මගෙත් එක්කම ගෙවෙන ජීවිතයක්.....තවත් වචනයක් කතා කරන්න තරම් මගෙ හිතට අදහසක් ආවෙ නෑ.ඒත්.....ඒත්.. එක්කම ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක්ගෙ සියුමැලි තොල් වල පහස යාන්තමට වගේ දෙතොලට දැනෙන්න උනා.............
ම්.........................තව,තව ලියල නිකන් මොකටද කොලේ ඉරා ගන්නෙ.හික්.......හික්.......
ආයෙ ඒ තැනට යන්න පුලුවන්නම් දෙපාරක් හිතන්නෙ නැතුව මැරෙන්න උනත් රෙඩි.ගන්ධබ්බ අවදියෙ කල්ප ගානක් උනත් ඉන්න පුලුවන්.ආයෙ පසු වැරදි වෙන්න කීයටවත් ඉඩ දෙන්නෙ නෑ.time machine එකක්වත් තියනවනම් සබ්බ සකලමනාවම හරි විකුණල ඒක අරන් ජීවිතේ රිවස් කරනවා.ඒත්.......ඒත්...කරුමෙට ඒ එකක්වත් ප්‍රායෝගික නෑ.දැන් මේ මොනාවත් නෑ........ඔක්කොම හිස්.....
මේකත් මේ දැන් වාගෙ මල්ටි මීඩියා පහසුකම් නොතිබුණු කාලෙක සිද්ධ උන සිදුවීමක්.අද වෙනකොට අතේ බඳින ඔරලෝසුවෙත් ජංගම දුරකතනය Option එකක් වෙලා තිබුනට මීට අවුරුදු පහළොවකට විතර උඩදි රූපවාහිනිය තමයි ගොඩක් අපිට කිට්‍ටුව හිටියෙ අත්‍යාවශ්‍යයම කාරණා වලට.ලොකු,ලොකු පොරවල්ගෙ ගෙවල්වල එහෙමනම් කොම්පූටර්, සැටලයිට් එහෙම තියෙන්න ඇති. ඒ උනාට අපි වාගෙ ඇලේ,දොලේ,ගලේ මළ පහ කරපු උන්ට ඔව්ව ඒ දවස්වල මැජික්.
අපි වාගෙ උන් වැල කෑල්ලක් බලන්න එහෙමත් මාර ගේමක් තමයි දුන්නෙ.ඇයි ඉතින් ෆිල්ම් හෝල් ඇතුලට ගන්නෙත් නෑනෙ කිරි කජු කොල්ලො.ඔය අස්සෙ වෙලාවටද කරුමෙටද මන්ද අපේ දිහා වීඩියෝ ඩෙක්කුවක් තිබුන.වෙලාවකට ඕක වදේකුත් උනා.ඇයි සෙනසුරාදට ගමේම ඉන්න කොල්ලො කුරුට්ටො ටික අපේ දිහා.මුලින්,මුලින් දන්න කියන උන් ටික විතරයි සෙට් උනේ.පහු,පහු වෙනකොට වැඩේ ලීක් වෙලා අවුරුදු අටේ දහයෙ චූටි උනුත් ඇවිල්ල කට ඇරගෙන බලන්න පටන් ගත්තා.පන්නන්නයැ.සමහර උන්ට යන්න කිව්වම ඇඬෙන සයිස්.
අනේ බං මාත් ඉන්නං................කාටවත් කියන් නෑ.......හික්.............සමහර උන් ප්‍රයිවෙට් එකේ ලඟට ඇවිල්ලත් කියනව.පුදුම උනන්දුවක්..........! ඇපලෝ 11 ගුවන්ගත කරණව බලන්න වාගෙ.හික්............හික්......
අපේ ආච්චි අම්ම අසනීප වෙලා හිටපු කාලෙ තමා ඔය සිදුවීම් උනේ.මොකද උදේ වරුවෙ අම්ම ආච්චිලගෙ ගෙදර යන නිසා ගෙදර කවුරුවත් නැහැ.ගේ ඉස්සරහ කැරම් බෝඩ් එකකුත් තිබුන හින්ද වටේ පිටේ කස්ටියටත් වැඩේ එච්චර මීටර් නැහැ.
ඔතන ඉන්න එවුන්ගෙන් සමහර උන් ඉන්නව සද්දෙ ඕනෙ.හයියෙන් දාන්නයැ.හිමිහිට දාල තිබුණට සමහර අවස්ථා තියනවනෙ සවුන්ඩ් එක වැඩියෙන් එන ටයිම්....ඒක හින්ද Volume 2-3 ට විතර තමා තියෙන්නෙ.සද්දෙ ඕනෙ උන් T.V එක ලඟටම වෙලා ඉන්නෙ.මූනයි ටී.වී එකයි අතර අඩි දෙක තුනකට වැඩිය පරතරයක් නෑ.ෆිල්ම් එක ඉවර වෙනකන් ඇස් පිල්ලම් ගහන්නෙ නෑ දෙපාරකට තුන් පාරකට වැඩිය.මැස්සෙක් බ්‍රේක් නැතුව ගියොත් එහෙම නවතින්නෙ ගිරියෙ.තව එවුන්ට සද්ද බද්ද මුකුත් ඕනෙ නෑ,ඉක්මනට සීන් ටික මෙමරියට දාගෙන ගෙදර දුවන්නයි උවමනාව තියෙන්නෙ.සමහර එවුන් බල,බලා ඉන්න ගමන් මගෙ රූම් එකට ගිහින් කඩදහි කොල එහෙම ඉරනවත් ඇහෙනව...හික්........හික්.......
ඩෙක්කුව ටිකක් අලුත් උනාට තිබ්බ T.V එකනම් පට්ට පරණ නැෂනල් එකක්. H.D.M.I , D.V.I, AV,Component in කිසිම දෙයක් නෑ.තිබ්බ එකම signal in එක ඇන්ටෙනා ජැක් එක විතරයි.චැනල් ටියුන් කරන්න එහෙම තියෙන්නෙ ප්‍රීසෙට් කරකවල.පරණ කලර් ටී.වී තිබුන කට්ටිය ඕන් දන්නව සීන් එක.ඉතින් ඩෙක් එකේ RF out එක t.v එකේ ඇන්ටෙනා ඉන් එකට connect කරල තමයි බඩු බලන්නෙ.ඉතින් චැනල් එකක් සිලෙක්ට් කරගෙන ඕක ක්ලියර් වෙනකන් ප්‍රීසෙට් කරකවල ඊට පස්සෙ වීඩියෝ එකේ කලර් වැඩිනම් එව්වත් හදාගෙන හෙන ගේමක් දීල තමයි සීන් එක දර්ශනය කර ගන්නෙ.
දැන් තමයි අපේ මාතෘකාව පටන් ගන්නෙ.ඔය විදියට ඇනලොග් සිස්ටම් එකකින් R.F සිග්නල් එකක් out වෙනකොට ඕක ටික දුරකට ට්‍රාන්ස්මීට් වෙනව.එච්චරම නෙමෙයි මීටර් 40ක් 50ක් විතර.ඉතින් අපේ ගේයි අල්ලපු ගේයි අතර පරතරය මීටර් 20 කට වැඩිය නෑ.තාප්පෙකින් තමා වෙන් වෙලා තියෙන්නෙ.ඒ දවස් වල එහෙ හිටිය ෂෝක් අක්කියල දෙන්නෙක්.අපිට වැඩිය අවුරුදු දෙක තුනක තමයි වෙනසක් තිබුනෙ.අපි 9වසරෙ ඉන්නකොට එක්කෙනෙක් 11හෙ.අනිත් එක්කෙනා 12හෙ හිටියෙ.පිස්සු කෑලි දෙක.මවුන්ටන් බයිසිකල් එහෙම නිතරම වාගෙ හවසට ගේ ඉස්සරහින් එහාට මෙහාට යනවා. ඒ උනාට ඉතින් හරී............ගනන් එයාල.(අසල් වැසියො හින්ද අපි එක්කනම් කතා කරනව)කොහොම හරි ඕන් දවසක් සෙනසුරාද උදේ වරුවෙ එක්කෙනෙක් ගෙයි පිටිපස්සට ගිහින් ඇන්ටෙනාව කරකවනවා,අපේ ගෙදර වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් තිර ගත වෙන අවස්ථාවක.එදා සීන් එක එච්චරයි.මමත් ඕක දැක්කෙ අහඹු සිදිවීමක් විදියට.මොකද මම හිටපු තැනට එයාලගෙ ගේ පෙනුන නිසා.ආයෙ මම දැක්ක හවස හයට විතර එයාලගෙ තාත්ත ඇන්ටෙනා එක පෙර තිබූ පරිදි සකස් කරණවා.ඊලඟ සෙනසුරාද මේන් බොලේ කෙල්ලො දෙන්න උදේ ඉඳලම ඇන්ටෙනාව කරකවනවා.පැය භාගෙකින් විතර වැඩේ නැවතුනා.ආයෙත් අපේ වීඩියෝ එක දුවන වෙලාවට ලොකු එක අහනව ඇහෙනව පොඩි එකගෙන්......
"හරිද,හරිද........"
"තව චුට්ටක්........".
"අපෝ.......තිත්නෙ....."
"ඔය ඇති අක්කෙ....එනව..................."
කොහොම හරි ඔය වැඩේ මීටර් උනා අපිත් එක්ක හිටපු ටිකක් ගැජමැටික් ගැන එහෙම දන්න බුවෙකුට.ඌටනම් එතකොට 18ක් 19ක් විතර ඇති.ගමේ බුවෙක්.මහ වාචාල කටක් තිබුනෙ ඌට.ඒ වෙලාවෙ මූත් අපිට ඒ ගැන මුකුත් ඇඟෙව්වෙවත් නෑ.මට කිව්ව ලබන සතියෙත් එකක් බලනවනම් අනිවාර්යෙන්ම ඌට කතා කරන්න කියල.ඔන්න ඊලඟ සෙනසුරාදත් කට්ටිය සෙට් වෙලා එහෙම පටිය ධාවනය කෙරෙව්වා..අරූ දැන් අපේ දොරකඩට වෙලා එහා පැත්ත බලාගෙන ඉන්නව.ඔන්න ටික වෙලාවකින් ලොකු එක දුවගෙන ඇවිල්ල එල්ලුනා ඇන්ටෙනා එකේ.ඒත් එක්කම මේක ගත් කටටම
"නංගි ඉක්මණට ටියුන් කර ගන්න,අද පැයකට වැඩිය නෑ............"
කියපි.මට මාර අප්සෙට්.ඇයි දැන් ඕක උන්ගෙ තාත්තට එහෙම කිව්වොත්.......අපිවත් නිකන් විහිළුවක් කරන්නෙ නෑනෙ.දැන් අපි ඔක්කොම අරූට බනිනවා.චූටි උන් තමයි ඔක්කොටම වැඩිය බනින්නෙ.ඇයි උන්ට මේවාගෙ බලන්න වෙන තැනකුත් නෑනෙ.ඊට පස්සෙ තමා මේක හිනා වෙවී මෙතන අපි නොදැනුවත්ව වෙන සීන් එක කිව්වෙ.අපි ඩෙක් එකෙන් ඇන්ටෙනා ඉන් එකට දෙන සිග්නල් අල්ලපු ගෙදර අක්කල දෙන්නත් ප්‍රයෝජනයට අරන් තියන බව.හැබැයි එයාල හිතල තියෙන්නෙ අලුත් චැනල් එකක් කියල.විකාශනාගාරෙ තියෙන්නෙ අපේ දිහා කියල දන්නෙ නෑ.කොහොම හරි වැඩේ පට්ට නෝන්ඩි.අරුත් මහ කට හොඳ නැති එකා.ඌට කොච්චර කිව්වත් හම්බවෙන හැම එකා එක්කම මේක කියල.ආයෙ ගන්න දෙයක් නෑ............
ඇමරිකාවෙ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ බුවෙක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනාලු....ටික වෙලාවකින් අපේ එකා.........
"ඔයා දන්නවද........?අපේ දෙමව්පියෝ ගෙදරින් එලියටවත් බැහැල නැති,......මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දල දුන්න.ඒකි ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ.මේ මඟුල මට දැන් එපාවෙලා තියෙන්නේ........."
"ඔහේ මඟුලක් කතා කරණව....ආදරේ කරල කරන මගුල් ගැන....මම බැන්දෙ අවුරුදු 3ක් ආස්සරේ කරල මිනිහ මැරිච්ච ගෑනියෙක්....ටික කාලෙකට පස්සෙ......අපේ තාත්ත මේ ගෑනිගෙ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා......"
"දැන් තාත්ත මගේ බෑනා......මං තාත්තගේ මාමා.....තාත්ත බැන්ද කෙල්ල මගේ අම්ම......මගේ ගෑනි මගේ ආච්චි......"
"ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම.....මගේ පුතා මගේ තාත්තගේ මල්ලි....ඒ නිසා පුතා මගේ බාප්පා........"
"තත්වෙ තවත් දරුණු වුනේ අපේ තාත්තගෙ නෝනට දුවෙක් ලැබුනම........දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී.මගෙයි නෝනගෙයි මිණිබිරී......."
"බලාගෙන ගියාම මම මගේම සීය වෙලා......මගේම මුණුබුරා වෙලා......උඹ මේ පවුල් ප්‍රශ්න කතාකරනවා................"
එක පාරටම "දඩස්" ගාල සද්දයක් ලංකාවෙ පොර හිටපු දිහායින් ඇහුනලු.......
කලින් ගැහැනු ළමයි දෙන්නෙකුට ආදරේ කරන්න ගිහින් වෙච්ච සංතෑසිය බලපු කට්ටිය දන්නව ඇතිනෙ.ඒකෙදි ඉස්සරවෙලාම කැමති උන කෙනා තමයි වින්ධ්‍යා.සුමුදු හම්බ උනේ මාස තුන හතරකට පස්සෙ.ඉතින් මෙයාට කලින් වින්ධ්‍යාට තමයි බොක්කෙන් ලව් කලේ.කෙල්ලෙකුගෙන් අහල කැමතියි කියපු මුල් දවස් ටික ඕනැම කොල්ලෙකුට ජීවිතේ මාර ගති දවස් ටිකක්.(හි........හි........පහුවෙනකොට එපා උනාට).වින්ධ්‍යා ඒ වෙනකොට කාටවත් ලව් කරල තිබුනෙ නෑ.එයාගෙ ෆ්‍රස්ට් ලව් එක උනේ මම.දෙන්නටම එහෙම තමා.(දෙන්නම කිව්වෙ මම නෙමෙයි....:D සුමුදු හොඳේ.....).
ඉතින් කොච්චර පස්සෙන් ගියත් බෑ මයි කියන්නෙ.අන්තිමට ඉතින් දවසක් "සලකල බලමුකො" කියල කිව්වා.අම්මෝ.........හිතේ ඇති වෙච්ච සංතෝෂෙ..............ෆිට් එකටත් එක්ක පාක් එකට ගිහින් නන්ස්ටොප් සිගරට් තුනක්ම ඇද්දා.දැන් හරි එයා මට කැමතියි.දැන් ඉතින් ලබන සෙනසුරාද වෙනකන් නින්ද යන්නෙ නෑ.මොකද ඒ දවස් වල දැන් වාගෙ hand phoneතිබුන එකක්යැ.හචිසන් ආපු අලුත වාගෙ. land තිබුනට එව්ව භයානක වැඩ.ඔන්න ඊලඟ සතියෙ class දවසෙ එයාගෙ යාලුවන්ගෙන් මග ඇරල අමාරුවෙන්
"ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ"
"මොනවද..........????
"මෙතන කියන්න බෑ වින්දි.හෙට කේසිරි සර්ගෙ ක්ලාස් එක ඉවර වෙලා ඔයාට ටිකක් ඉන්න පුලුවන්ද?"
"අපෝ බෑ..... සචීලත් එක්ක යන්න ඕනෙ.පරක්කු උනොත් අම්මල හොයනව................"
දහසක් බලාපොරොත්තු වීදුරුවක් බිඳුන වාගෙ විසිරිලා ගියා.මොහොතකට වචන අමතක උනා.දැන් කාඩ් කපන පෝලිමත් ටික්ක ගාවට ටික,ටික ලං වෙනව.ආයෙ class එක ඇරිල ටෝක් කරන්නත් බෑ.මොකද එයාගෙ යාලුවො සෙට් එකත් එක්ක,මෙතනින් පස්සෙ ගෙදර යනකන්ම ඉන්නෙ.ඒත්...........ඒත්.... ඒ එක්කම එයා බලාපොරොත්තු නොවුනු උත්තරයක් දුන්නා.
"උදේ එන්නම්".
කියාගන්න බැරි සතුටකින් හිත පිරිල ඉතිරිල ගියා.
"හත හමාරට,රජපීල්ල පාර ලඟට."
මම ඉක්මනට තැන කිව්වා.එයත් ලාවට ඔලුව වනල ඒක අනුමත කලා.ටියුට් එක නැතුව ගෙදර යන්න බැරි හින්ද ඇතුලට ගියා මිසක් එදා පංතියෙ මොනව ඉගැන්නුවද කියල සිහියක් තිබුනෙම නෑ.හවස් වරුවෙම කලේ ෂර්ට් එක අයන් කරපු එකයි, ගිහින් කියන එව්ව හිතපු එකයි.කොහොමින් කොහොමින් හරි ඔන්න ඉරිද දවස උදා උනා.කලින් යන්නත් එපායැ.ඇයි අප්පේ.............ඉස්සරවෙලාම දවසනෙ.කොහොම හරි හත වෙනකොට නයින් හාට්ස් එක ගාව.(රජ පීල්ල පාර ලඟ තමා තියෙන්නෙ).ඔන්න ඔය වෙලාවෙ තමයි කරුමෙ සෙට් උනේ.අපේ උන් තුන් හතර දෙනෙක් පාත් උනේ නැද්ද ඔතෙන්ට පාන්දරම.
"අඩෝ දිනේෂය.....සිකා එකක් ගැහුවද?...."
ඔන්න උදේම අහපු එක.
"දැන් බෑ බං".
ඒ............!!මේන් මේක ජීවිතේට නොකියන කතාවක් දැන් කිව්ව".
"අපෝ .......වරෙන් වරෙන් .....එකක් ගහමු."
ආයෙ ඒ වෙලාවට බෑ කිව්වට වැඩක් වෙන්නෙ නෑ.කෑල්ල එන්න කලින් එන්නත් ඕනෙ හින්ද ඉක්මනට මාකට් එක පිටිපස්සට ගිහින් පාරවල් දෙක තුනක් ඇද්දා.ගඳ යන්න....නෑ ,නෑ සුවඳ යන්න හැක්ස් එකක් එහෙමත් කාල අපේ එවුන්ගෙනුත් යන්තම් ගැලවිලා ආයෙ ප්ලේස් එකට යනකොටම වින්ධ්‍යා ආවා..
"මොනවද කියන්න තියෙන්නෙ....??"
"මෙතන ඉන්න බෑ යාලුවො එනව.......!!"
දැන් ඔන්න කලින් දවසෙ පාඩම් කරපු දෙබස් දෙන ගමන් හිමින් ,හිමින් වැව රවුම පැත්තට කිට්‍ටු උනා.කුරුණෑගල වැව කියන්නෙ ඒ දවස් වල මාර ලස්සන පොට් එකක්.එක පැත්තකින් "හොටෙල් දිය දහරා " එක.වටේටම අවුරුදු සිය ගානක් පරණ "මාර" ගස්.කොහොම හරි නවය වෙනකොට මාර ගහකට මුවා වීමේ වාසනාව උදා කර ගත්ත.දෙවියන්ගෙ ආශීර්වාදයක්ද මන්ද ඒ වෙලාවෙ හීනියට හිරිපොද වැස්සකුත් පටන් ගත්ත.අපි මලාට කුඩ ගෙනියන එකක්යැ.ඉතින් කෙල්ලගෙ කුඩේ හිමීට අරගෙන දිග ඇරියා.ඔය වැව් කණ්ඩිය උඩින් පාරක් තියනව.ඕකෙන් තමයි එහා ගමට යන මිනිස්සු යන්නෙ,එන්නෙ.වෙලාවට වැස්ස හින්ද වැඩිය කට්ටිය නෑ.නැත්තන් පාරෙ යන මිනිස්සුන්ගෙන් පොඩි,පොඩි ඇනුම් පද අහන්නත් වෙනව.ඔක්කොටම හපන් පොඩි එවුන්...........එබි,එබි බලන්නෙ ලොකු උනාම එන්න හිතාගෙනද දන්නෙ නෑ....ටික,ටික හිරිපොද වැස්ස මහ වරුසාවක් උනා.අර තුනට කඩන චූටි කුඩේ කොහෙද දෙන්නෙකුට ඉඩක්.මම පුලුවන් තරම් කුඩේ එයාගෙ පැත්තට හරවල එයාව වැස්සෙන් බේරන්න ට්‍රයි කලා.මොකද පලවෙනි දවසෙම කෙල්ලට එපා උනොත් එහෙම.තෙමෙනවයි,මඩ ඉහෙනවයි....ආයෙ දවසක එන්න බෑ කිව්වොත් එහෙම කියල හිතුන හින්ද.ඒත් ටිකකින් මූන දිහා බලපු එයාදකුණු අතින් මගෙ ෂර්ට් එක අල්ලල බැලුවා..............
"ඔයා හොඳටම තෙමිලා................
"එච්චරම නෑ,"මං තෙමුනට කමක් නෑ...ඔයා තෙමුනොත් අසනීප වෙයි......"
එහෙම කිව්ව විතරයි,කුඩේ මගෙ පැත්තට බර කරණ ගමන්ම මෙන්න බොලේ කෙල්ල තුරුල් උනා..................!!!!පලවෙනි දවසෙම.ජබුං විලයි.කුඩේ විසිකරල වැවට පනින්න හිතුනා.ඒත් ඒ එක්කම ලේන්සුව ටිකක් දෙන්නකො කියල එබුවෙ නැද්ද අත සාක්කුවට.දෙලොව රත් උනේ එතකොට තමා.උදේ දුම දාල ගිණි පෙට්ටිය ආපහු වේටරයට දෙන්න අමතක වෙලා කලබලේට සාක්කුවට ඔබා ගත්තනෙ.දැන් මේක මාට්‍ටු උනොත් එහෙම කෙල්ල හිතයි මම උපන් ගෙයි දුමා කියල.ඉක්මනට කෑල්ලට කලින් ඉස්සර වෙලා ගිණි පෙට්ටිය අතට ගත්තා."කෝ.......මොකද්ද ඒ............???".
"ඒ..........ඒ..........මේ..........සර්ට ලියපු චිට් එකක්".
"නෑ,නෑ වෙන්න බෑ.........කෝ බලන්න.."
"ගිණි පෙට්ටියක් නේද????""ඔයා සිගරට් බොනවා.............!!!"
ඒත් එක්කම මම විසි කරන්න පුලුවන් තරම් දුරට ඒක විසි කලා.තිබ්බෙ මොකද්ද කියල හරියටම මීටර් උනේ නැතත් ඒ ඇස් දෙකෙන් චූටි කඳුලු කැට දෙකක් එලියට එන්නයි ලෑස්තිය.හෆොයි..............!!කරුමෙක මහත.....අර කලින් විසි කරපු ගිණි පෙට්ටිය මෙන්න බොලේ පියන ගැලවිලා කූරු ටිකත් එක්ක රැල්ලට ආයෙත් අපි දෙන්නගෙ කකුල් දෙක ගාව.ඒ පාරනම් වැඩේ අතටම මාට්‍ටු.
"මේක නේද මට හැංගුවෙ......"
තවත් බොරු කියන්නයැ.කකුල් දෙක ලඟ ගිණි කූරු 45 පාවෙනවා.මට දෙන්න තවත් උත්තරයක් නෑ.වැස්සට වැඩිය සැරේට දැන් මෙයා අඬනවා.කොච්චර සුන්දර අවස්ථාවක්ද මේ කාළකන්නි සිගරට් බීමක් හින්ද නැති වෙන්න යන්නෙ.කියන්න තියන බොරු ඔක්කොම කිව්වත් හිත හදන්න අමාරුයි.දෙන්න අතර පරතරයත් එන්න,එන්න වැඩි වෙනවා.
"ආයෙ සිගරට් බොන්නෙ නෑ...................සත්තයි..."
ම්.........හු..ඈත රැල්ල දිහා බලාගෙන ඉන්නවා.ඇයි දෙයියනේ මෙහෙම උනේ.................!!
"ආයෙ සිගරට් බිව්වොත් මම වාහනේකට හැප්පිලා මැරෙයි...."
ආ..............ඒ පාර හරි වාගෙ.ඇස් දෙක දිහා බලාගෙන....
"ඒ වාගෙ කතා කියන්න එපා..............ආයෙ සිගරට් බොන්නෙ නැතුව ඉන්න..."
අම්මෝ.........ඇති යන්තන්.පැය දෙකක විතර සටනකින් පස්සෙ කෙල්ලව ෂේප් කර ගත්තා.කේසිරි සර්ගෙ class එක ඇරෙන්නත් ලඟ හින්ද අපි ඉතින් මාර ගස් සෙවනට සමු දීල වැව් කණ්ඩිය දිගේ ආපහු ටවුමට එන්න ආවා.කෑල්ලව මල්කඩුවාව බස් එකට දාල මාත් ගෙදර යනව කියල ආවට දන්නෙම නැතුව ඇවිල්ල තියෙන්නෙ "ශාන්ති " එකට.(හික්........ශාන්ති එක කියන්නෙ කෝකටත් තෛලය වාගෙ සයිවර් කඩයක්).ආපු එකේ දුමක් නොදා යන්නත් බෑ.ඕනෙ එකක් කියල ඇද්දා එකක්.හැබැයි ටික දවසක් යනකන් එහෙ,මෙහෙ ගියෙනම් හරිම පරෙස්සමට.ඇයි බැරිවෙලාවත් වාහනේකවත් ගැවුනොත් එහෙම.ඕව කියන්න බෑනෙ.දෙවිවරුත් කෝටි ගානක් ඉන්නවලුනෙ.හි............හි....../
මේකනම් කලින් සීන් එක වාගෙ නෙමෙයි.නොකරපු,නොකරණ අයත් ඉන්නව.
හැබැයි පාවිච්චි කරණ අය දන්නව මේකෙ සොමිය.රුසියන් කාරයො මොන එහෙකට රූබල් බිලියන ගනන් වියදම් කලාද දන්නෙ නෑ ඒ දවස් වල හඳට යන්න.මේ රුපියල් විස්සකට හඳටත් එහා මන්දාකිණි වලට යන්න අවස්ථාව මෙහෙ තියෙද්දි.සමහරවිට එහෙ මෙව්ව නැතුව ඇති.හැබැයි ඉස්සර වාගෙ හැම තැනම දැන් මේක ගන්න නෑ.උද්ධමනයත් එක්ක අපේ උන් අඩු වියදම් ආතල් වැඩි වැඩියෙන් හොයන්න ගත්ත හින්ද ආණ්ඩුවෙන්ම කීප දෙනෙකුට විතරක් මේක අලෙවි කිරීමට අවස්ථාව ලබා දුන්න නිසා දැන් පහසුවෙන් මේක ගන්න තියන තැන් අඩුයි.
අටුවා,ටීකා,ටිප්පණි ඕනෙ නෑ.මේක තමයි මදන මෝදකය නොහොත් ගුලිය.
දැන් බලනව ඇති මහා කාමේෂ්වරී කියල කිව්වෙ මොකද කියල.ඒකනම් දන්නෙ නෑ.එහෙම තමයි දවටනේ ගහල තියෙන්නෙ.දිනකට දෙවරක් එළකිරි වීදුරුවක් සමග පානය කරන්න කියල තමයි වෛද්‍ය උපදේශෙ තියෙන්නෙ.
පුහ්;......එළ කිරි.....!!
ඌරන්ට මොන සෞඛ්‍යද??වැඩි සීනි ප්ලේන්ටිය තමයි ඖෂධේ පානයට කියාපු සංයෝගෙ.
අනික දවසට දෙවරක්....!!!!
බඩුම තමා.
කොහොම අනුභව කලත් ආතල් එන්නෙ තැපෑලෙන්.ඒක හින්ද ගල්,පොල් විස්කි ගැහුව වාගෙ නෙමෙයි,මූ ඉන්නෙ මොන ආතල් එකෙන්ද කියල වෛද්‍ය පරීක්ෂනේකින් මිසක් හොයන්න බෑ.ඇයි??.........ගඳ නෑ,වැනෙන්නෙ නෑ,ඔක්කාරය- වමනය නෑ.හැබැයි දන්නෝ දනිති.ඒ කොහොමද?
හික්...හි...හි...පාලනය කර ගත නොහැකි සිනහව,පැණි රස කෑම වලට දැඩි ලොල් බව,ඇස් කුඩා වීම,සාමාන්‍යය ප්‍රමානයට වඩා නිතර නිතර ඇසි පිය හෙලීම, තව ඉතින් පොඩි,පොඩි වෙනස් වීම් තිබුනත් ඔව්ව තමයි ටිකක් ලොකුවට පේන්න තියෙන්නෙ.
අලුතෙන් ට්‍රයි කරණ කෑල්ලක් ටෝක් කරන්න කියාපු බේත.සුජීව ප්‍රසන්නාඅරච්චිටවත් නැති අදහස්නෙ ඒ වෙලාවට එන්නෙ.කෙල්ල ඇඬෙන්න දෙබස් දෙන්න පුලුවන්.හැබැයි බැරි වෙලාවත් කෙල්ලට අයියල එහෙම ඉදල ඌ ඕක කාල ගෙදරට චාටර් වෙච්ච පවුලක කෙල්ලෙක් එහෙමනම් කෑල්ලට ටිකක් මීටර් වෙන්න බැරිකමකුත් නෑ.ඒක හින්ද අත් හදා බලනවනම් පරිස්සමෙන්.
ඉස්සර හන්දියෙ කඩේ පවා ඔය භාන්ඩෙ තිබුණට දැන් තියෙන්නෙ පිළිගත් ආයුර්වේද බෙහෙත් කඩවල විතරයි.මේ ලඟදි අපේ බුවාල ටිකක් ෆිල්ම් එකක් බලන්න යන්න හිතාගෙන එකක් කාල යනව කියල බෙහෙත් කඩේකට ගිහින් තියනව බඩු ගන්න.
මළා...........! කඩේ වැඩට ඉන්නෙ ඔක්කොම කෙල්ලොලු.ඒ වෙලාවෙ වෙන කවුරුවත් පාරිභෝගිකයො ඇතුලෙ ඉදලත් නෑ.පිරිමියෙකුට ඉන්නෙ කැෂියර් විතරලු.ඉක්මනට කැෂියර් ගාවට ගිහින්
"මෝදක තුනක් දෙන්න" කියල හිමීට ඉල්ලුවලු.ඇයි අප්පා විලි ලැජ්ජා නැතුව ඕක ඉල්ලන්න පුලුවන්යැ අර ගැටිස්සියන්ගෙන්.ඒ පාර කැෂියර් බුවා ගානක්වත් නැතුවටිකක් ඈත හිටපු කෙල්ලෙකුට හයියෙන් කිව්වලු "මේ මහත්තයට මෝදක තුනක් දෙන්න" කියල.මූට එතනින් පැනල දුවන්න තරම් හිතුනලු.ඒමදිවට අර කෙල්ල ඇහුවලු "නාහල්ලෙ එකද ඕනෙ අනිත් එකද" කියලත්.හෆොයි...........
කොහොම හරි ගුලිය වර්ණනා කරණව මිසක් කාපු පලවෙනි දවසෙ ගත්ත මංගල ආතල් එක ලියන්න බැරි උනානෙ.ඔන්න O/L ලියල රිසාල්ට් එනකන් ඉන්න ෆ්‍රී මාස දෙක තුනේ ගෙදරින් එහෙම වැඩිය කරදරේකුත් නැති හින්ද ගමේ හිටපු සෙට් එකේ පස් දෙනෙකුත් එක්ක නමෝ විත්තියෙන් කාමේෂ්වරිය අනුභව කලා.හැබැයි එකෙක් වැඩේට අදි මදි කරල ඌ මාරු උනා.ඒ දවස් වල ඕකෙ ගාන රුපියල් පහයි.දැන් ඉතින් කාල එහෙම,
"කෝ..බං කියන තරම් සීන් එකක් මේකෙ නෑනෙ" කිය,කියා ලොක්කො වාගෙ ඉන්නකොට ටික ටික ඔන්න පාරෙ යන වාහන එහෙම ඩබල් වෙලා පේන්න ගත්තා.එකෙක්...........
"මචං ...,මගෙ ඔලුව ගිනි ගන්නව වාගෙ,පොඩ්ඩක් බලපන්"
දැන් අනිත් ඌත් සිරාවටම බලල එහෙම,
" නෑ බං එහෙම අවුලක්නම් නෑ....."
ඒ උනාට මූට වැඩේ අවුල්.මූ කඩේ පිටිපස්සට ගිහින් මේන් බොලේ ජෝගුවකින් ඔලුවට වතුර හලා ගන්නව.තව එකෙක් කොයි වෙලාවෙත් මූන ඉස්සරහින් දෙපැත්තට අත වනනව.නිකමට ඇහුව
"මොකද මචෝ.............."
"නෑ බං මේ චූටි කුරුල්ලො වාගයක්"
බැලින්නම් කඩේ එල්ලිලා තිබුනු කෝඳුරු පට්ටයක් ඇවිස්සිලා.ඒ කෝඳුරුවො වාගයක් මුගෙ මූන වටේ කැරකෙනව.හි.......හි........ඒ වෙලාවෙ මූට උන් පෙනිල තියෙන්නෙ කුරුල්ලො වාගෙ.එතකොටම වාගෙ ආධාර එකතු කරණ හාමුදුරු කෙනෙක් වැඩිය කඩේට.මේන් අපේ තව එකෙක් ටක් ගාල නැගිටල ගිහින් හාමුදුරුවන්ට වඳිනවා.කඩේ අයිතිකාර බුවත් ෆිට් එක හින්ද වැඩේ එච්චරම නෝන්ඩි උනේ නෑ.ඔය අස්සෙ හිනා යන්න පටන් අරන් ඒක නවත්ත ගන්න බැරුව ලෝක සීන් එක.ලඟ ඉන්න එකාගෙ මූන බලන්න බෑ හිනා යනව.කොහොම,කොහොම හරි ඕක පාවිච්චියෙන් පස්සෙ එන අතුරු ප්‍රතිඵලයක් විදියට ඇතිවෙන බඩගින්න දැනෙන්න ගත්ත හින්ද නොදැනුවත්වම වාගෙ එකා දෙන්න ගෙවල්වලට විසි උනා.
මගෙ ආතල් එක පටන් ගත්තෙ පහුවදා අම්ම කලිසම හෝදන්න ගිය වෙලාවෙ.ඇයි එකෙක් ඕකට බෑ කියල කලින් දවසෙ ගෙදර ගියානෙ.උගෙ ගුලිය මගෙ සාක්කුවෙ එහෙමම තිබිල.ඒ වෙලාවෙ තාත්තත් ලඟ ඉදල අම්ම තාත්තට භාන්ඩෙ ඉදිරිපත් කරල.එදානම් කන හරහ වැදුන පාරවල් දෙකක් ලොවෙත් නැතිවෙන්න.
එදා තමයි ඕන් කුලුඳුලේම මහා කාමෙෂ්වරී ශ්‍රීමත් මදන මෝදකය අනුභව කෙරුවෙ.
පිස්සු ලෝකයයි...............................
ඊයෙ ඔන්න පොඩි උවමනාවකට ඉස්සර මගෙ හිටපු අතිජාත මිත්‍රයකුට Call එකක් ගත්තා.අවශ්‍ය දේ ඉවරවෙලා දැන් ඉතින් වල් පල්,
.....................................................................................
උඹ බඳින්නෙ එහෙම නැද්ද බං.
ආ....ජනවාරියෙ වෙඩින් එක.කොහෙද ඉතින් උඹල නෑනෙ.තාත්තටවත් කියන්නම්.
නෑ මරුනෙ බං.එතකොට අනුරාධලගෙ ගෙදරින් කැමති උනාද?
මොන අනුරාධද????
ඇයි උඹ බඳින්නෙ අනුරාධා නෙමෙයිද?
ම්............ටිකක් කලපනා කරල එහෙම,පිස්සුද බං....ඒක නැවතිලා දැන් අවුරුදු පහක් විතර.
එතකොට උඹ බඳින්නෙ කාවද?
ආ ...හ්...එයා මේ අපිත් එක්ක වැඩ කරණ එක්කෙනෙක්.
එහෙම.....ද!!!!එතකොට අනුරාධාට මොකද උනේ.
ඒකි පස්සෙ සංජීවය එක්ක සෙට් උනානෙ.පස්සෙ ඌ ඒකි බැන්දද කොහෙද?
මගෙ අම්මෝ......කොච්චර දේවල් වෙලාද?
.....................................................................................
ප්‍රභාතයලගෙ නංගි එහෙම දැන් කෑල්ල වෙලා ඇති නේද?පොඩි කාලෙත් ඒකි ලස්සනයිනෙ?
මම දැක්ක ටික දවසක ඉඳන් කොල්ලෙක් එහෙ යනව එනව.මගෙ හිතේ ප්‍රභාතයලගෙ ගෙදරිනුත් කැමතියි.
ෂිහ්......
.....................................................................................
ඒක නෙමෙයි සනියගෙ පොඩි එක උඹත් එක්ක තාම ඔරොප්පුද?
ඒකිට බබා හම්බ උනානෙ.
ඒ කිව්වෙ???
ගිහින් ආවනෙ.
කොහෙද?
මුස්ලිම් කොල්ලෙක් ඒකිව ඉස්සුවනෙ.
නෑ.......!!! දැන් එතකොට දෙන්නම ඉන්නෙ ගෙදරද?
කවුද දෙන්න???
ඇයි කොල්ල.
කොල්ල නෑ...කෙල්ල විතරයි ආවෙ.ඌ කලින් බැඳපු එකෙක්ලු.ළමයි තුන්දෙනෙකුත් ඉන්නවලු.
මළා.........එහෙනම් ඒකත් නෑ....
.....................................................................................
උඹට මතකද රාජගෙ දුව.හේෂානි....
කවුද....????.......ආ......හරි,හරි මතකයි.අර ශිෂ්‍යත්වෙන් girls එකට ගියෙ.
අන්න හරි.ඒක මේ ලඟදි ඉදන් කවුද පොරක් ටෝක් කරණව බං හවසට හෝල්ට් එක ගාව.ඒකනං පිස්සු කෑල්ල බං.
ඒකි එච්චර ලොකු වෙලාද?
ඔව් දැන් ඒ ලෙවල්නෙ.
ඒකත් එහෙමද?එතකොට අපිට වේකන්සියක් නෑ.
ඉස්සරවාගෙ නෙමෙයි දැන්.කෙල්ල තොටිල්ලෙදිම තමයි ඇප්ලිකේෂන් එක දාන්න ඕනෙ.සූප්පුවත් ගහගෙනනෙ වැඩ පටන් ගන්නෙ.
ම්.................
.....................................................................................
ආ.............මට උඹට කියන්න බැරි උනා.මට ගිය සතියෙ සුමුදුව හම්බ උනානෙ.
කොහෙදිද?
දේශානි එකේදි ඇඳුම් ගන්න ඇවිල්ල හිටිය.
ම්ම්.......හ්....
දෙන්නම මාත් එක්ක කතා කෙරුව.කොල්ල හරි හොඳයි .පොඩි එකෙකුත් ඉන්නව.කෙල්ලෙක් .ෂෝයි බං.
මම ගැන ඇහුවද??
නෑ උඹ ගැනනං මොනාවත් ඇහුවෙ නෑ.ඒකිට දැන් උඹව මතක නැතුව ඇති බං.ඔය හිටියෙ බුවත් එක්ක හුරතල් වෙවී.
මචං මම තියන්නද???
අඩෝ උඹට අප්සට් ගියා නේද?
නෑ එහෙම එකක් නෑ.
මචං සමාවෙයන්,මම එච්චර හිතල කිව්ව නෙමෙයි.නිකමට කිව්වෙ.
ආ.....නෑ බං පිස්සුද ඒකෙ අවුලක් නෑ.එහෙනං තියන්නම්.Bye....
ඕ.කේ මචං Bye...... පිපෙන පිපෙන මල් සේරම බඹරුන් ලඟ නැලවෙනා හැටි................
හිතට නැගෙන දුක් ගින්දර කියන්න මට කවුරුවත් නැති...
නුඹට දුන්නු කවි සේරම නුඹ මට ආපසු දුන්නු හැටි...
මතකෙට එන හැම වාරෙම නෙත අද්දර දුක් කඳුලු කැටි.....................
මොනව කරන්නද ඉතින් දුක ඉවසනව මිසක්....අකේලේ ගෙවෙන ජීවිතේ නොවැ.